Tuesday 20 December 2016

පෙනෙන දේ තුල නොදකින දේ A tax free value addition to sinhala blogging

මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි!



දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක්  
ස්ථානය - වත්තහේන කණිටු විදුහල

මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?

විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා

මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන්  “ඕකේ  ඉතින් මොකද්ද මහා හොඳේ ???”)

විදුහල්පති - එකෙන් කර ගත්ත ලොකුම දේ තමා අපි ළමයින්ට හරි විදියට වැසිකිලි යන හැටි කියල දුන්නා …. එතකන් එක ළමයෙක්වත් හරි හැටි වැසිකිළියට  යන හැටි දැනන්  හිටියේ නැහැ….. (දිගටම කියවන්න මෙතන click කරන්න)

පෙනෙන දේ තුල අපි නොදකින බොහෝ දේවල් තියෙනවා.. ඒ දේවල දකින්න බොහෝ විට අපිට අදාල විෂය පිලිබඳ දැනීමක් තියෙන්න ඕනි.. ඒත් ලෝකේ තියෙන හැම විෂයක් සම්බන්දයෙන්ම ඉගෙන ගන්න හැකියාවක් අපිට නෑ. විදුලි හා විද්යුත් ඉංජිනේරු විෂය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක වලට අයත් බලශක්ති සංරක්ෂණය/ කළමනාකරණය කියන්නේ ඉතාමත් පුළුල් ඒ වගේම මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන විෂයයක්.. මගේ බ්ලොග් එකේ කිහිප තැනක මින් ඉහත මා මිත්‍ර නදීර විජේසිංහ ගැන සඳහන් කරලා තියෙනවා. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් වෙන නදීර අනෙක් බොහෝ විදුලි ඉන්ජිනේරුවන්ගෙන් වෙනස් වෙන්නේ විදුලි බලශක්තිය උත්පාදනය හා කළමනාකරණය ගැන ඔහු දක්වන සැලකිල්ලෙන් ආ ඒ පිලිබඳ ඔහුගේ ආකල්පයෙන්.. සුර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය, ගල් අඟුරු බලාගාර වලින් වෙන පරිසර දුෂණය, ඩිසල් මගින් ජනනය කරන විදුලිය වෙනුවෙන් අපි වැය කරන මිළ වගේ දේවල් ගැන ඔහුගේ කියවීම ඇත්ත වශයෙන්ම ඇස් අරවන සුළුයි. මගේ ලොකු උවමනාවක් තිබ්බ නදීර ලවා බ්ලොග් එකක් ලියවන්න. ඒ වෙනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජේෂ්ඨ බ්ලොග් කරුවෙක් වන 'තිලකසිත' ගෙන්ද නදිරට ලොකු තල්ලුවක් ලැබුණා..

ඔන්න දැන්න නදීර ඔහුගේ මේ දැනුම හා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවා.. ඔබට පුළුවන් ඔහු සමඟ මේ පිළිබඳව ඔහුගේ මෙම බ්ලොග් එක හරහා දීර්ඝ සංවාදයක් ගොඩ නගන්න. ඒ වෙනුවෙන් කාලය වෙන්කරන්න ඔහු කොයි වෙලාවකවත් මැලි වෙන්නේ නෑ..

IESL එකෙන් කරන Official e- newsletter එකේ නදිරගේ ලිපි පළවෙනවා.. මේ එහි ඔහු පිළිබඳව හඳුන්වා දී තිබු ආකාරය..

Eng. Nadeera Wijesinghe holds a Masters in Energy Systems from University of Gavle and B.Sc (Eng) Hons from University of Moratuwa specializing in Electrical Engineering. He is also a Project Management Professional (PMP) of PMI, USA. Currently he serves as Senior Electrical Engineer - Power System Designs at M.A. Consultants in the State of Qatar.

ඊට අමතරව කියනවා නම් නදීර කියන්නේ 'හොඳට කන බොන' ජිවිතේ විඳවන්නේ නැතුව විඳින එළ කොල්ලෙක්.. ඔහුව සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නා ගමන් ඔහුගේ බ්ලොග් එකට ගොඩවී නදිරව දැන අඳුනා ගන්නා ලෙසත්   'කලාහිත' හිතවත් සැමගෙන් ඉල්ලා සිටිනවා.. 

ස්තුතියි!

Sunday 11 December 2016

යහපාලනයට අලුත් කොන්දක් නාවික හමුදාවෙන්.. හම්බන්තොට උද්ඝෝෂකයින්ට 'සඳ ගුටි'.. Enough is enough.. Let's start from Hambantota

කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික  හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
photo credit; www.google.lk

මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි. 

උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි. 

කලකට ඉහත ආසාවෙන් නැරඹු 'Rules of Engagement' බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව 'සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට' හමුදා අධිකරණයකට යොමු කරයි.. ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ. අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් "Waste the bloody motherfuckers" යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි. මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? 'එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..' කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය 'ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ.. 

හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?

මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය. 
ඡායාරූපය නාවික හමුදා නිළ වෙබ් අඩවියෙනි
ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි.. 

අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය.. තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි 'නාමල්ගේ කොල්ලෝ' හිතන්නත් නැතිය. ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!

Wednesday 7 December 2016

ජාතික ආරක්ෂාව, පා.ම. විමල් විරවංශ හා රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා Rear Admiral Travis Sinniah- A Master and a Commander

රස්සාවට කරන්නෙත් ආරක්ෂාව ගැන බලන එක උනාට 'ජාතික ආරක්ෂාව' ගැන නම් ඒ හැටි හොයන්න මේ දවස්වල විවේකයක් නෑ.. ඒත් ඒ ගැන තියෙන උනන්දුව ගැන දන්නා නිසා මොකක් හරි විශේෂ දෙයක් සිදුවෙනකොට කොහෙන් හරි පොඩි දැනුම්දීමක් තවමත් වෙනවා.. අදත් ආවනේ එහෙම කෝල් එකක්.. අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක, සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයන්හි වැය ශිර්ෂ පිළිබද විවාදයේදී විමල් වීරවංශ මහතා කළ කතාව  අහන්නය කියල.. වීරවංශ මන්ත්‍රීවරයා කොහොමත් කතාවට දක්ෂ නිසා ඔහුගේ කතා අහන්න කම්මැලි නම් නෑ. ඒත් දැන් දැන් ඒ කතා අහන්න කියල කෝල් එන්නේ.. අර ඉංග්‍රීසියෙන් කියන්නේ for the wrong reason කියල.. අන්න එහෙම. ඒ කතාවේ මුල් බාගයේ අවසන් හරියේ තමයි ඔය ජාතික ආරක්ෂාව පාට් එක තියෙන්නේ.. එකෙත් ගොඩක්ම පුරුදු මැක්කා ස්ටෝරිය.. ඔය අතරතුර ජාතික ආරක්ෂාවට අදාළ ජෙෂ්ට නිලධාරීන් තුන් දෙනෙක් ගැන කියවෙනවා.. එක් අයෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානි විදියට කටයුතු කල බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ.. ඒ වගේම හිටපු පොලිස් විශේෂ බළකා ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර වත් එහිදී සඳහන් උනා.. තුන්වැනියා වත්මන් නාවික හමුදාවේ නැගෙනහිර නාවික ආඥාපතිවරයා වන රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා.. නමුත් විරවංශ මන්ත්‍රීවරයා එහිදී ඔහුගේ නමින් ඔහුව සඳහන් කිරීමක් කරන්නේ නෑ. මේක අහනකොටම මට මතක් උනේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ 'අධිෂ්ඨානය' පොත.. එහි කීප තැනකම කපිතාන් ට්‍රැවිස්, කොමඩෝර් ට්‍රැවිස් ලෙස ඔහුගේ නම සඳහන් උනත් කොතැනකවත් 'සින්නයියා' කියන ඔහුගේ වාසගම සඳහන් වෙන්නේ නෑ.. සමහරවිට ඔහුගේ මේ දෙමළ සම්භවය නිසා ඔහුගේ වීරත්වයට අඩු ලංසුවක් ලැබේවියයි මේ මන්ත්‍රීවරයා හා අද්මිරාල්වරයා හිතුවද දන්නේ නෑ.. හැබැයි මටනම් එය ඔහුට වඩා වැඩි වටිනාකමක් එක් කරන සාධකයක්. මේ පෝස්ට් එකේ ඉස්සරහට මම 'රියර් අද්මිරාල් සින්නයියා' නැත්නම් 'සින්නයියා සර්' කියල නිතර කියන්නේ ඒ ගෞරවය පෙරදැරිවමයි..

රියර් අද්මිරාල් සින්නයියා ගැන ලිපියක් ලියන්න හුඟ දවසක ඉඳන් හිතාගෙන හිටියත් වැඩත් එක්ක ඒක අතපසු උනා.. නමුත් විමල් මන්ත්‍රීවරයාගේ මේ කතාව හෙට මාධ්‍ය වල පලවෙනකොට අඩන්න බලන් ඉන්න දේශප්‍රේමීන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ රට වෙනුවෙන් කිඹුල් කඳුලුත් එක්ක මේ විශිෂ්ට නිලධාරියාගේ අම්මා අප්පට පවා බැනුම් අහන්න සිදුවිය හැකි බව දන්නා නිසා යන්තමින් හෝ ඔහු පිළිබඳව සාධාරණයක් ඉටු කිරීමට මේ ලිපිය ලියා පලකිරීමට මීට වඩා සුදුසු වෙලාවක් නෑ..

ට්‍රැවිස් සින්නයියා සර් මට මුලින්ම හම්බවෙන්නේ 2000 වසරේ ජනවාරි මාසයේ.. පාස් අවුට් එකෙන් පස්සේ මගේ පලවෙනි ඇපොයින්මන්ට් එක විදියට වේග ප්‍රහාරක මුර යාත්‍රාවක දෙවන අණභාර නිලධාරියා විදියට ගියාම මට පැවරුණු මුල්ම රාජකාරි වලින් එකක් තමයි වර්ෂාවසනයේදී සිදුකලයුතු එහෙත් එතෙක් මගහැරී තිබුණු නැවියන්ගේ සේවා වාර්තා (Service Documents) අණදෙන නිළධාරියා ලවා සහතික කරවා ගැනීම.. මෙලෝ හසරක් නොදන්නා මම සේවා වාර්තා මිටියත් කර තියාගෙන අණදෙන නිලධාරියා මුණ ගැහෙන්න යනවා බලාගෙන හිටපු අනෙක් ජේෂ්ඨ සගයින් මගේ දිහා අවඥාවෙන් වගේ බලාගෙන හිටිය කියල පස්සේ හිතුන.. ඒත් මම ගියා ඉතින්.. එවෙලේ තමයි ඔහුව මුලින්ම දැක්කේ.. නියම නේවිකට් රැවුල.. ඇස දෙක උස්සල බැලුවම හයි බිම් ලයිට් එකක් ගැහුවා වගේ.. ඔක්කොමත් හරි ඒ ඉංග්‍රීසි හා ඇසෙන්ට් එක.. මගේ ඉස්සරහ හිටියේ අපිට ට්‍රේනින් කාලේ උගන්නපු නියම 'නේවි ඔෆිසර්' කෙනෙක්ගේ මොඩල් එකක් කියල මට හිතුනේ.. කොහොමහරි ඒ ටෙස්ට් එකෙන් ගොඩ ගිහින් SD ටික දුන්න සයින් කරන්න.. පළවෙනිම එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලොක්කා එකපාරටම මගෙන් මෙහෙම ඇහුව..
"who was your predecessor?' 
"Sub Lieutenant .... sir!"
මම කියනවත් එක්කම ලොක්ක මේසේ උඩ තිබ්බ බෙල් එකට දෙපාරක් තට්ටු කරා.. එතකොට ආවේ තවත් ඒ වගේම නේවි එකේ 'චරිතයක්'.. ඒ කාලේ ඩෝරා ස්කොඩ්රන් එකේ ට්‍රේනින් ඔෆිසර්.. එයා ගැන වෙනම ලියන්න  වෙන්නේ..
"YN, where is now that bloody sub lieutenant .....? ask that fucker to come and report me tomorrow morning"
"Aye aye sir!" කියල අපි දෙන්නම සැලියුට් එකක් ගහල එලියට ආව.. ආපු ගමන් YN සර් මගෙන් ඇහුව විස්තරේ.. මං වෙච්චි දේ ඒ විදියටම කියුව.. පස්සේ බැලින්නම් කලින් එකා ලොක්කගේ අස්සන හොරට ගහල තිබිල ඊට උඩින් තැනක.. ලොක්කට දැක්ක ගමන් මාට්ටු.. ඒ ලොක්ක කවදාවත් අත්සන නිල් පෑනකින් ගහන්නේ නැතිලු.. කලුපාට සයිනින් පෙන් එකක් විතරලු පාවිච්චි කරන්නේ.. අර උන්දා ලෙසටම අස්සන ගහල හැබැයි නිල් පෑනකින්..වැඩේ අතේ කෝට්. ඔන්න ඔහොමයි මගේ වෘත්තීය ජිවිතේ පටන් ගන්නකොටම ඒකට 'ට්‍රැවිස් සින්නයියා' සම්භන්ද උනේ.. ඒ කාලේ ජුනියර් ඔෆිසර්ස් ලා සින්නයියා සර් ලඟට යන්න බය හේතු දෙකකට.. පළවෙනි එක කඩ්ඩට.. මටනං ඒ කතා කරනවා අහං ඉන්න ආසයි.. දෙවෙනි එක ඔහුගේ දැනුම.. ඩෝරා ගැන, ඩෝරා එන්ජින් ගැන, වෙපන් ගැන, එල්ටීටීඊ එක ගැන, ට්‍රින්කෝ හාබර් එක ගැන, seamanship ද navigation ද මොනවගෙන් ප්‍රශ්ණයක් අහයිද දන්නේ නෑනේ.. ඒ හැම එකක් ගැනම ඔහුට තිබ්බේ අප්‍රමාණ දැනුමක්.. ප්‍රශ්ණයක් ඇහුවම ගොළුව කසාය බිව්වා වගේ හිටියොත්නම් 'මළ පනිනවා'. දන්නා විදියට උත්තර දුන්නොත් හිනාවෙලා ඒ සම්භන්දව වැඩිපුර තොරතුරු ඔක්කොම කියල දෙනවා.. මට සර් ව අල්ලලා ගියේ ඒ නිසා.. හැබැයි මම ඩෝරා වලට එකතු වෙලා ටික කාලෙකින් සර් වෙන තැනකට ට්‍රාන්සර් වෙලා ගියා.

1999-2000 කියන්නේ මුහුදු කොටි ක්‍රියාකාරකම් උපරිම මට්ටමක තිබ්බ කාලයක්.. ඒ කාලේ නාවික හමුදාවේ කොඳු නාරටිය වෙලා තිබ්බ වේග ප්‍රහාරක මුර යාත්‍රා බලගණය සින්නයියා සර් අතට පත්වෙන්නේ අහම්බයකින් නෙවෙයි.. ඔහු ඩෝරා ස්කොඩ්රන් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳල ඒකෙ වැඩ පෙන්නපු 'පොරක්' .. සින්නයියා කියන නම ඉස්සරහින් වීරත්වය මුලින්ම ලියවෙන්නේ 1987 වගේ ඈත කාලෙක.. එතකොට ඔහු ලුතිනන් වරයෙක්.. හරියටම කියුවොත් P 457 ඩෝරා යාත්‍රාවේ දෙවන අණබාර නිලධාරියා..

එදා දවස 1987 ඔක්තෝබර් 2 වෙනිදා.. ඒ අවුරුද්දේ ජූලි 29 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඒ වෙනකොට යාපනය අර්ධද්වීපය සේවා නූලට ගිනිතිබ්බ බෝම්බයක් වගේ තිබුනේ.. ලංකා හමුදාව, ඉන්දීය සම සාධක හමුදාව හා එල්ටීටීඊ ඇතුළු සන්නද්ධ කල්ලි අතුරින් කවුරු කවුරු එක්ක යුද්ද කරයිද කියල විශ්වාසයක් තිබුනේ නෑ. විශේෂයෙන්ම ඉන්දීය හමුදා හා ලංකා හමුදා අතර හොඳ හිතක් තිබුනෙම නෑ. අඩුම තරමින් උතුරු නැගෙනහිර ආරක්ෂාව සම්භන්දව දෙගොල්ල අතර සාකච්චාවක් වත් තිබුනේ නෑ. ඇත්තටම ඉන්දීය හමුදා වැඩිපුර ගනුදෙනු කරේ ත්‍රස්ත කණ්ඩායම් එක්ක. ඒ විශ්වාසය දඩමීමා කරගෙන එල්ටීටීඊය එදත් මහා පරිමාණයෙන් ආයුද හා පිරිස් බලය රැස් කරා. මේ සියල්ල කණපිට හැරුනේ නාවික හමුදාවෙන් මෙදින අත්අඩංගුවට ගත්ත 'kadalpura' කියන ට්‍රෝලර් එක නිසා.. ඒකෙ ගමන් ගත්තේ ඒ දවස්වල එල්ටීටීඊයේ ප්‍රබලම නායකයින් දෙපොළක් වූ කුමාරප්පා සහ පුලේන්ද්‍රන් ඇතුළු ප්‍රභල කොටි සාමාජිකයින් 18 දෙනෙක්.. අවි ආයුද හා තවත් යුද උපකරණ විශාල ප්‍රමාණයක් එක්ක වැල්වැටිතුරේ ඉඳල තමිල්නාඩුවට යන අතර P 457 ඩෝරා යාත්‍රාවෙන් detect කරලා තිබුන.. කුමරප්පා කියන්නේ ප්‍රභාකරන්ගේ මස්සිනා. පුලේන්ද්‍රන් තමයි කන්තලේ කිතුල්උතුව ප්‍රදේශයේ දී හමුදා හා සිවිල් වැසියන් ගමන් ගත බස් රථයක් නවත්වා ඔවුන් සියලු දෙනාවම අමු අමුවේ ඝාතනය කරේ. අපේ ආරක්ෂක හමුදාවන්ගේ බලය අඩපණ කරලා තිබුණු ඒ කාලේ මහා රෑ දෙකට විතර ගොඩ බිමින් ඉතා ඈත මුහුදේදී නාවික හමුදා යාත්‍රාවක් මෙතරම් සැලකිල්ලකින් ඉඳියි කියල කවුරුවත් හිතන්නේ නැති වෙලාවක මේ detection එක කරේ එදා ඒ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරියා වූ අපේ කතා නායකයා. නාටකය එතනින් නතර උනේ නෑ. නවත්වන්න කියල එන දුන්නට ඔවුන් නතර නොකරම ඉන්දීය මුහුදු සිමාව දෙසට යාත්‍රා කරන්න උනා. ඒ මදිවට බෝට්ටුව වටේටම අවි අමෝරාගෙන නේවි යාත්‍රාවට අභියෝග කරා. තව ටිකක් එහාට ගිහිං ඔවුන් එදා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වුනානම් ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය සම සාධක හමුදා පිලිබඳ ඉතිහාසය අදට වැඩ බොහෝ සෙයින් වෙනස් එකක් වීමට ඉඩ තිබුනා. නමුත්.. 

අවස්ථානුකුලව මේ අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම අවබෝධකරගත් එවකට ලුතිනන් සින්නයියා දෙවරක් නොසිතා ඩෝරා යාත්‍රාවේ සිට වේගයෙන් ගමන් කරමින් තිබු සතුරු යාත්‍රාවට අවි අමෝරාගෙන කඩා පැන්නා. ඔහු සමඟ ඔහුගේ සහයට පැමිණි නායක නැවි ප්‍රේමතිලක නම් වූ ඒ වීර නාවිකයින් දෙදෙනාට එල්ටීටීඊ සාමාජිකයින් දහ අට දෙනා ඇතුළු ඒ ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගෙන P 457 යාත්‍රාවේ අධීක්ෂණය යටතේ නැවතත් කන්කසන්තුරය වරාය වෙත යාත්‍රා කරවීමට හැකි වුවා. එහිදී අත් අඩංගුවට ගත් එල්ටීටීඊ ප්‍රබලයින් ප්‍රශ්ණ කිරීම සඳහා කොළඹට ගෙන ඒමට විරුද්ධත්වය පාමින් ඔවුන් සයනයිඩ් කා සියදිවි හානි කර ගැනීමත් සමඟ යාපනය අර්ධද්වීපය පුරා ත්‍රස්ත කැරලි කෝලාහල පටන් ගැනීමත් සමඟ ඉන්දීය සාම සාධක හමුදාව තමන් මෙතෙක් කිරිපොවා හුරතල් කර නාගයාගේ තරම අවබෝධ කරගනිමින් එල්ටීටීඊයට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග වලට එළබුනා.. ඉතිරිය ඉතිහාසගතයි.

එතැන් පටන් රණවික්‍රම, රණසුර වැනි යුද්ධයේදී දක්වන විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් ලබා දෙනු ලබන වීර පදක්කම් හා පළඳනා රැසකින් පිදුම් ලබමින් යුද්දයේදී මෙන්ම ඉන් පරිබාහිරව නාවික හමුදාවේ ඉතාමත් වැදගත් තනතුරු රැසක වගකීම් දරමින් වෙසෙසින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපයේ වෙනත් නාවික හමුදා අතර ඉහලින් ඔසවා තැබීමට සිය වියත් කථිකත්වය හා අප්‍රමාණ නාවික දැනුම නිසි ලෙස යොදවමින් දවසින් දවස නාවික හමුදාවේ ඉදිරියටම යාමට ට්‍රැවිස් සින්නයියාට හැකි උනා.. සාමාන්‍යයෙන් හමුදාවල career officers ලා කියා හඳුනා ගන්නා කොටසක් ඉන්නවා.. ඒ සිය දක්ෂතා, හැකියාවන් හා performance (merit) මත නාවික හමුදාවේ ඉදිරිපෙළ නායකත්වය සඳහා සුදුසුකම් පෙන්වන දක්ෂ නිලධාරීන්. පැහැදිලිවම ට්‍රැවිස් සින්නයියා යනු එකල එවන් career officer කෙනෙක්.. ඔහුගේ නායකත්ව ගුණාංග, දක්ෂතා හා 'වැඩ' ගැන දැනගෙන සිටි අපි කවුරුවත් ඒ ගැන අහිතකින් හිටියේ නෑ.. 

ට්‍රැවිස් සින්නයියා ගැන මීළඟ කතාව 1987න් හරියටම අවුරුදු විස්සකට පසේ ඒ කියන්නේ 2007 අවුරුද්දට අරගෙන යනවා.. මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමෙන් ඇරඹි හතරවන ඊලම් යුද්දයේ උච්චතම අවධියේ.. ඉදිරියට ඇදෙන හමුදා සේනාංකවලට තිබුණු ලොකුම බාධකය උනේ නොනවත්වා ත්‍රස්තවාදීන් අතට පත්වන නවීන පන්නයේ බර අවි හා උන්ඩ සැපයුම.. මහා මුහුදේ නොදන්නා ප්‍රදේශයක සිට නොකඩවා මේ අවි ආයුධ ගොඩ බිමට ලැබෙන බවත් එම නැව් ඇති ඉසව්ව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලතරණ හැකියාවෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තර මුහුදු සිමාවේ එකක් බවත් යන්න දැන සිටීම හැර ඊට විසඳුමක් එතෙක් යෝජනා වී තිබුනේ නෑ. ඒ අතර මේ අපේ කතා නායකයා එවකට ලංකාව සතුවූ විශාලම නෞකාව වූ සයුර යාත්‍රාවේ අණදෙන නිලධාරී වරයා ලෙස පත්වී එනවා. එතැන් පටන් මෙතෙක් බොහෝ දෙනෙකුට නොහැකි වූ ජාත්‍යන්තර සහයෝගය හා නවීන තාක්ෂණයේ සහයෝගයද ඒ සියල්ල පරයා නැගී වීරත්වය කැටි කරගත් නාවික සගයන්ගේ සහයද ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ හා වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ එතෙක් මෙතෙක් නාවික හමුදාව සිදුකල දැවැන්තම හා සාර්ථකම මෙහෙයුම් ගණනාවක් සැලසුම් කරමින් ඒ මහා වික්‍රමය එනම් එල්ටීටීඊ ජාත්‍යන්තර ආයුධ ජාවාරම් ජාලය විනාශ කිරීමේ මෙහයුම් ප්‍රධානියා වන්නේ, කරන්නාගොඩ මහතා සිය කෘතියේදී උපුටා දැක්වීමට මැලිවූ, එලෙසම විමල් විරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවට නම ඇතුලත් නොකිරීමට ප්‍රවේශම් වූ ද්‍රවිඩ වාසගමක් සහිත මේ අභීත ලංකා පුත්‍රයායි.. ඔහුගේ සේවය කොතරම් උසස් කොට සැළකුවද යත් කරන්නාගොඩ මහතාම සඳහන් කරන පරිදි අවසන් සමයේ උසස්වීමක් ලබා නාවික හා සාගරික විද්‍යා පිඨයේ අඥාපති ව සිටි කොමදෝරු ට්‍රැවිස් සින්නයියා මෙම මෙහෙයුම් සඳහාම තාවකාලිකව ඒ ඒ අවස්ථාවන්වලදී ඒකාබද්ධ අණදෙන නිලධාරී වරයා ලෙස ප්‍රධාන නෞකාවට අනුයුක්ත කරනු ලැබුවා.. 

2009 මැයි  18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක සමය එහි කුටප්‍රාප්තියයි. නැගෙනහිර මුහුදේ සිදුවූ 'සිවිල් ඇඳුම් ඇඳගෙන ඩිංගි බෝට්ටුවකින් ගමන් ගත් නැවියන් සිවු දෙනෙකුගේ අතුරුදහන්වීම' යන සිදුවීම අරඹයා සෝමතිලක දිසානායක හා ට්‍රැවිස් සින්නයියා අතර ඇරඹි මත ගැටුම අවසන් උනේ 2011 වසරේදී ට්‍රැවිස් සින්නයියාට නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට බලකරමින්. ඒ වෙනුවෙන් එවකට පැවති දේශපාලන බල අධිකාරිය බලපෑම් කල බව ප්‍රසිද්ද රහසක්.. 

කනස්සලු සිතින් නාවික හමුදාව හැරගියද ඉතා දක්ෂ හා අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ ට්‍රැවිස් සින්නයියාට තවත් ඉතා  භාරදුර දූර වගකීමක් ලැබුනා.. ඒ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස.. එවන් තනතුරකට ඔහු තරම් වෙනත් සුදුස්සෙක් එවකට ඇත්තටම හිටියේ නෑ කියන්න පුළුවන්.. ඔහුගේ තානාපති කාර්යාලයේ භූමිකාව කුමක්ද යන්න හෙළි නොවූ කතාවක් වුවද ඔහු ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකු එම අවස්ථාව දෙරටටම හානියක් නොවන ලෙස ඉතා මැනවින් කළමනාකරණය කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් ඔහු සතු බව පිලිගන්නවා. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ තානාපති කාර්යාලයේ සේවය නිමා කරන ඔහු සිය පවුල සමඟ පදිංචියට යන්නේ ඇමෙරිකාවට නොව වෙනත් යුරෝපිය රටකටයි. විරවංශ මන්ත්‍රීවරයා අමතක කල නමුත් අපි සියලු දෙනා දන්නා සත්‍යයක් නම් ට්‍රැවිස් සින්නයියා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෙකුව සිටියා පමණක් වද්දී, පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකානු පුරවසියෙකුව සිටි බව එමෙන්ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් හිමියෙක් බව.. එසේම සේවයේ සිටියදීත් හමුදා නිලධාරීන් වෙනත් රටවල තානාපති කාර්යාල සඳහා Defence Advisors ලා විදියට අනුයුක්ත කරන බව.. 

යහපාලන රජය (දැන්නම් ඇති යහපාලනයක් නැති වුවත්) පත් වූ අලුත සිදුවූ එක් වැදගත් ක්‍රියාමාර්ගයක් වුයේ පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ නිලධාරීන් නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට හිමි වැටුප්, උසස්වීම් හා අනෙකුත් වරප්‍රසාද නැවත ලබා දීමයි. මාගේ දැනුමේ හැටියට එවන් ත්‍රිවිද හමුදා නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් නැවත සේවයේ පිහිටවූ අතර ඔවුන් වැඩි පිරිසක් නව තනතුරේ වැඩ බාරගත් දිනම නැවත විශ්‍රාම ගන්වනු ලැබූ අතර ඉතාමත් සීමිත පිරිසක් නැවත සේවයේ යොදවනු ලැබුවා. ඒ ඔවුන්ගෙන් ලාබගතයුතුම වූ එහෙත් ලබා ගත නොහැකි වූ සේවය ලබා ගැනීම වෙනුවෙනුයි. ට්‍රැවිස් සින්නයියා යනු එවන් නාවික හමුදාව තුල සිටිය යුතුම නිලධාරියෙකු ලෙස නාවික හමුදාව හඳුනා ගෙන සිටියා. 

දෙවෙනි ආගමනයත් සමගත් රියර් අද්මිරාල් සින්නයියාගේ නාවික ගමන එතරම පහසු එකක් උනේ නෑ.. ඔහුව නැගෙනහිර ආඥාපතිවරයා ලෙස නම් කර සිටියදී සාම්පුර් පාසලක උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර මහා ඇමතිවරයා විසින් ප්‍රොටෝකෝල් ප්‍රශ්නයක් මුල් කරගෙන එහි සිට නාවික කපිතාන්වරයාට බැන වැදීමත්, නැගෙනහිර මහා ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙකු වීම හරහා ඇතිවුණු කැළඹීමත් එවකට මාරුවී යාමට නියමිතව සිටි නැගෙනහිර නාවික ආඥාපති වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානින් සිංහලයින්ගේ ප්‍රමෝදයට හේතුවූ මහා ඇමතිවරයාට හමුදා කඳවුරු වලට ඇතුළුවීම තහනම් කරමින් දුන් තීන්දුවත් නිසා වැඩ බාර ගන්නා අවස්ථාව වෙද්දීම නව ආඥාපතිවරයාගේ පුටුව රත්වී තිබුනා.. එලෙසෙම නාවික හමුදාවේ මාරුවීම් ක්‍රමවේද පිලිබඳ නොදන්නා බොහෝ දෙනා මේ මාරුවීම සාම්පුර් සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස හුවා දැක්වීමත්, නාවික හමුදා මුලස්ථානයේ තීරණයක් අනුව යමින් නැගෙනහිර මහා ඇමතිවරයාට දිවා ආහාරය සඳහා නාවික තටාකාංගනයට ආරාධනා කිරීම නව ආඥාපතිවරයාගේ කලපරිච්චේදය ආරම්භයේදීම සිදුවීමත් යන ඒවා මේ පෑරෙමින් තිබු තුවාලයට ලුණු වත්කිරීමක් වගේ උනා....

නමුත් දැන් ත්‍රිකුණාමලය ප්‍රමුක නැගෙනහිර නාවික පෙදෙසේ තත්වය බොහෝ වෙනස්.. යුද්දයෙන් පසු වැටි තිබු හමුදා සාමාජිකයින්ගේ මානසික මට්ටම හා හමුදා සුදානම නැවත ඇති වෙමින් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යුද උපකරණ මිලදී ගැනීම්, යාත්‍රා අලුත්වැඩියා කටයුතු, පුහුණු කටයුතු මෙන්ම නැවියන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාදන කටයුතුද ඉතා විධිමත්ව හා ඉහල විනිවිද භාවයකින් සිදුවන බව එහි සිටින ජෙෂ්ට කනිෂ්ඨ නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දරනවා.. දැන් ඔවුන්ට නියම මිලිටරි නායකත්වයක් ලැබී ඇති බව එහි අවසන් කියවීමයි.. මේ සියල්ල දක්ෂ අවංක, එඩිතර හා දැනුවත් නිලධාරියෙකුගේ මඟ පෙන්වීමේ ප්‍රතිපලයි. 






Photo credit goes to Sri Lanka Navy official website
හැම වැරද්දටම ගෙදර තියෙන දේශපාලන මුව හැමට තඩි ගහන කට වාචාල දේශපාලකයින් කුමක් කීවත්.. ඔබ ගැන දන්නා, ඔබ යටතේ වැඩ කර ඇති වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මගෙත් ප්‍රාර්ථනය ට්‍රැවිස් සින්නයියා ඉදිරි දිනකදී නාවික හමුදාවේම අණ දෙන්නා වනු දැකීමයි.. 

BZ Sir! Keep up the good work.. you'll get what you deserve.